කාව්‍යාලාප



 
 
 
 
අද රූස්සව නැගී සිටි සෑම මහා ගසක්ම එදවස කුඩා පැළයකි.

 

අරටු සවිමත් වුණ මහා ගස් අතරින් පතර හැදෙන පුංචි පැලවලට හිමිවන්නේ කවර තැනක් ද යන්න විමසිය යුතු වුවද මාගේ මේ වෑයම ඊට වෙනස් නොවූවද ඊට සමානද නැත. කවිය යනු කුමක්ද කියා මා ඔබෙන් විමසුවහොත් එවිට ලැබෙනුයේ ඔබටම ආවේනික පිළිතුරකි. මන්ද කවිය මේ යැයි කියා නිර්වචනයක් තවම මට හමුවී නොමැත. එනිසාම ඉතා සුන්දර වචන යෙදූ පමණින් එය කවියැයි හදුනවාදිය හැකිද ? නොමැති නම් ඉතා කඨෝර වචන යොදා ඇති බැවින් එය කවියක් නොවන්නේ යැයි අර්ථකථනය කළ හැකිද ? හැම විටම කඨෝර වචන කවිය වන්නේ නැත වගේම ඉමිහිරිම වචන කවිය වන්නේද නොවේ. එය එසේ නම් කවිය යනු කුමක් ද ?

 

#ජයසිරි_අලවත්තයන් විසින් රචිත #කාව්‍යාලාප කෘතියෙහි “කවිය යනු” සටහනෙහි මෙසේ දක්වා ඇත. “කවිය යනු හදවතේ හර්දයාංගම බව මෙන්ම මනසේ ආනන්දජනක බව උද්දීපනය ව ඉතා මට සිළිටු මාධ්‍යකි. මෙය සාහිත ක්ෂේත්‍රයේ හදුන්වන්නේ මිනිසා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන මාධ්‍යක් ලෙසිනි.” මෙම කෘතියෙහි කවියක් ඉපදීමට කවියා තුළ සිටිය යුතු මිනිසා පිළිබඳව ද කවියට උචිත උපමා උපමේය භාවිතය වගේම භාෂා භාවිතය පිළිබදවද අපූරු සටහනක් තිබීම කවිය හදාරන්නට ද නවක කවි කිවිඳියන්ට ද නව මගක් පෙන්වන්නක් බව මාගේ අදහසයි.

 

කවියක් ගැන කතා කරනවා මෙන් විචාර කෘතියක් ගැන කතා කරන්නට මා තුළ හැකියාවක් ඇතිද නැතිද යන්න ගැටලු සහගත වුවද කවියක් කියවීම සහ කවියක් විඳීම යන්න එකක් නොව දෙකක් බව මනාව වටහා ගන්නට හැකිවන මෙහි අඩංගු බව කිව යුතුමය. කතෘගේ වෙනත් කෘති පිළිබදව මෙහි සටහනක් නොමැති වුවද මා විසින් මෙයට පෙර කියවා රසවිද ඇති “මකරන්ද කාව්‍ය විමංසා” කෘතියට වඩා වෙනසක් මම මේ තුළින් දුටුවෙමි. විචාරයට ලක්වන කවිය සම්පුර්ණයෙන්ම මේ තුළ අන්තර්ගත වීම පාඨකයාට ඉතා පහසුවකි. මන්ද විචාර කෘතියක් කියවා වටහා ගැනීමට නම් අදාළ නිර්මාණය කියවා හෝ තිබිය යුතුයැයි මම විස්වාස කරමි. එනිසාම මෙය වඩා සාර්ථක යැයි මම සිතමි.

 

කවියා සැමවිටම කතාකළ යුත්තේ සමාජ ප්‍රශ්ණ පමණක්ම ද ? ආදරය සෙනෙහස ස්භාව සෞන්දරයය ගැන කතා කළ යුතු නැතිද ? පාඨකයා කවියාගෙන් බලාපොරොත්තු වන්නේ සමාජ ප්‍රශ්ණ පමණක්මද ? මගේ අසහසට අනුව නම් කවියා මේ එක රාමුවක කොටුවිය යුතු නැත යන්නය. දක්ෂකම යනු මේ සියලු පැති එකසේ සමාජයට දීමය. මෙතන කුණු මෙතන කුණු කීවාට මෙතැන කුණු නැතිවන්නේද නැත. මෙතැන කුණු නොතිබුණේ නම් කොහොමද කියා කිවොත් පාඨකයාට හිතන්නට යමක් ඇත. මවා ගන්නට නොව අලුතින් අදින්නට සිතුවමක් ඇත. එනිසාම අලුතින් හිතන්නට පාඨකයාට සිදුවන්නේමය. මෙම කෘතියෙහි විවිධ කාව්‍ය කෘතීන්වල විවිධ මානයන්ගෙන් කියවෙන සමාජ කියවීම් පිළිබද කතිකාවක් ඇත. රාමුවකට කොටු නොවූ විචාරයක් ඇත යන්න මාගේ අදහසය.

 

හැමවිටම මහා රූස්ස ගස් ගැන කතා කරන අපට පුංචි පැළ අමතක වී යන්නේ ඒ දෙස නොබලන නිසා නොව ඒ පැළ නොදකින නිසාය. එවන් පුංචි පැළවලට සාත්තු කර රැකගත්තේ නම් අනාගතයෙදී පසුතැවීමට සිදු නොවන්නේය. මෙම කෘතියේ තවත් විශේෂතාවක් වන්නේනම් මහ  රූස්ස ගස් අතර සැඟවුන කුඩා ගස් ගැනද සටහන් කර තිබීමය.

 

නිර්මාණයක විඳීම පුද්ගලානුබද්ධය. කවියකින් මා නොදකින දේ ඔබට දැකිය හැකිය මා නොලියපු දේ ඔබට දැක ගත හැකිය. ඒ සෑමවිටම එය ප්‍රකාෂකර ගන්නට තරම් අප පොහොසත් නැත. මුහුණු පොත තුල අති බහුතරයක් කවි කිවිඳියන් අතර විචාරකයින් අතලොස්සක්වත් නොමැති වීම අභාගයකි. කවියක විඳීම සටහන් කරන්න විචාර කලාව ප්‍රගුණ කරන්න පිරිසක් ඒ තුළින් බිහිවන්නේ නම් එය කෙතරම් භාග්‍යක්ද ? නමුදු අප විචාරයට බිය වන්නෙමු. නොමැතිනම් විචාරකයා තෝරාගත් එක් පිරිසකට පමණක් කොටුවී ඇත. කාව්‍ය විචාරය ගැන අධ්‍යනයට කාව්‍යාලාප මනා පිටුවහලක් යැයි මම සිතමි.

 

ප්‍රවීණ කවි කිවිඳියන් අතර අංකුර කවි කිවිඳියන් එකතු කර සෑම නිර්මාණයකම තම විඳීම එකසේ සටහන් කර ඇති කාව්‍යාලාප කෘතිය ගැන මිට පෙර සටහනක් තැබීමට සිතුවත් මා නතරකර තැබුයේ සුන්නදාය. මා මේ සටහන තබන්නේ ඒ තුළ සුන්දරයි සුනන්දා සිරවී සිටින නිසා නොව එහි වැදගත්කම සහ බහුතර කාව්‍ය විචාරකයින් පිරිසක් ඇති වන්නේ නම් යැයි මා සිත තුළ ඇතිවූ හැඟීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට පමණක්ම බව ලියා තබන්නට කැමැත්තෙමි. මෙහි සුනන්දා නොසිටියේ නම් මීට පෙර මේ සටහන ඔබ වෙනුවෙන් ලියා තබන්නට ඉඩ තිබුණද මෙතුවක් දවස්  මා නවතා තැබුයේ ද ඈමය.

 

සෑම පිටුවකම තබා ඇති සටහන මා ඉතා කැමැත්තෙන් රස වින්දද එහි ඇතුලත පිටු ගැන කිසිදු සටහනක් නොතබා එය ඔබටම විදින්නට යැයි ආරාධනා කරමින්ම මාගේ කෙටි සටහන සමාප්ත කරමි

 

කෘතිය : කාව්‍යාලාප

කතෘ    : ප්‍රවීණ මාධ්‍යවේදී ජයසිරි අලවත්ත

ප්‍රකාශණය : කවිවර ප්‍රකාශන

මිල : රු. 400/=

 

 

Comments

  1. බොහෝම ස්තුතියි

    ReplyDelete
  2. මේ සටහන තැබුවාට බෙහෙවින් ම ස්තූතියි!

    ‘‘මකරන්ද කාව්‍ය විමංසා‘‘ කෘතියේ සම්පූර්ණ කවිය ම ඇතුළත් නොකළේ ප්‍රකාශන ආයතනයේ ඉල්ලීම පරිදි ය. එනම් එවිට කාතියේ පිටු ප්‍රමාණය වැඩි වන අතර එය හේතුවෙන් කාතියේ මිල ද වැඩිවන බව ප්‍රකාශන ආයතනය පැවසු හෙයිනි. එහෙත් එය කාතියට කිසියම් හානියක් ගෙනදුන් බව බොහෝ දෙනා පැවසූහ.
    මේ වන විට එහි දෙවන මුද්‍රණය ද අවසන්ව පාසල් පුස්තකාල සඳහා එම කාතියෙන් පිටපත් 250ක් ඉල්ලා ඇති බැවින් එය ද සපයා ඇත. තෙවන මුද්‍රණයේ දී යට කි හිදැස පුරවන්නට අදහස් කරන අතර මේ වන විට එහි සංස්කරණ කටයුතු අවසන් කර ඇත. එළඹෙන සාහිත්‍යය මාසයේ දී ‘‘මකරන්ද කාව්‍ය විමංසා“ කෘතියේ ‘‘සංශෝධිත තෙවන මුද්‍රණය‘‘ පාඨක ප්‍රජාව අතට පත්කිරිමට හැකිවනු ඇතැයි විශ්වාස කරමි.
    ‘කාව්‍යාලාප“ කෘතියේ ‘‘කතුවරයාගේ අනෙක් කෘති“ සඳහන් නොකිරිම පිිබඳව ද බොහෝ දෙනා විමසති. එම කෘතියේ දෙවන මුද්‍රණයේ දි ඒ හිදැස සහ තවත් අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කරන්නට බලාපොරොත්තු වෙමි.

    ජයසිරි අලවත්ත

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රස්තියාදුකාරයා - ගිහාන් සචින්ත

විරාමයකට පසුව හමුවී විරාමයකට පසුව හමුවෙමු