ඉගිල්ලෙන කරදහි කුරුල්ලා
අශෝක කුමාර කුලතුංග
ගොඩගේ ප්‍රකාශන
මිල රු. 250/=

 කවිය යුනු කුමක්ද? මෙම පැණය

ඔබගෙන් විමසුවහොත් එයට ලැබෙන පිළිතුර මේ යැයි කියා නිශ්චිතව පැවසිය නොහැක්කේ ඊට නිශ්චිත නිර්වචනයක් නොමැති නිසාමය. හොඳම වචන හොඳම පිළිවෙලට සහ රසයක් ද්වනියක් සහිතව උපමා උපමේය සහිතව ලිවීම කවියක් යැයි ඇතැම් විට ඔබ පවසනු ඇත. කවිය යනු තදින් අල්ලාගත නොහැකි මුත් තදින් හද බැඳෙන ආත්ම ප්‍රකාශනයක් යැයි ඇතැම්විට ඔබ පවසනු ඇත. ඉතිං එසේනම් කවිය යනු කුමක්ද? එය ඔබටම වටහා ගන්නට ඉඩහසර ලබා දෙමින් ඔබගේ විඳීමට බාධා නොවන ලෙස මගේ විඳීම සටහන් කරන්නට උත්සුක වෙමි.

අශෝක කුලතුංග ලියූ කරදහි කුරුල්ලා මට හමුවන්නේ 2017 ගොඩගේ අත්පිටපත් තරගයේ හොඳම කාව්‍ය කෘති දහය අතරට තේරීපත් වුණ කාව්‍ය සංග්‍රයක් ලෙසට ය. මුද්‍රිත ග්‍රන්තයක් වීමට පෙර මුහුණු පොත හරහා වගේම පුවත්පත් කවි පිටුවල සැරිසරන අශෝකගේ කවි අපට හමුවන්නේ ඒ තුළිනි. අශෝක උපන් පරිසරයේ සිට කවියෙකු බිහිවීමට හැකිදැයි විටෙක කිසිවෙකු මගෙන් විමසීය. කවියකු බිහිවීමට හොඳම පරිසරය ඒ නොවේදැයි මම මගෙන් ප්‍රශ්ණ කළෙමි. එවන් පරිසරයක අත්දැකීමෙන් සුපොෂිත කවියක්.. පිටතින් සිට බලනවාට වඩා ඇතුලතින් විඳි කවියක් ඔහු අතින් ලියවෙනවාට කිසිදු සැකයක් තිබෙන්නට පුළුවන් ද? . පිටතින් බලා නිගමනය කොට යමක් ලියනවාට වඩා එය අත්විඳිමින් ලිවීමේදි කවියා කවියට වඩා සාධාරණයක් කරනවා යැයි පෞද්ගලිකව මම සිතමි. එවන් කවියක සාර්ථකබව රදාපවතින්නේ කවියා කවියට කෙතරම් දුරට අවංක වනවාද යන්න මත බව මගේ විස්වාසයයි. එය ⁣එසේ තිබියදි අපි කරදහි කුරුල්ලා දෙස බලමු. හැදින්වීමේ පහසුව තකා මින් පසු අශෝක කතකයා ලෙස සඳහන් කරමි

අප සමාජයේ විවිධ ලිංගික ආශාවන්ගෙන් යුක්ත මිනිසුන් වෙසෙයි. ඇතැම් විට නීතිය නැමැති යදමින් ඔවුන්ගේ හැඟීම් බැඳ තැබීම නිසා එවන් අවශ්‍යතා ලොවට  සඟවා තබා ගැනීමට ඔවුනට සිදුව තිබේ. ඇතැම් පිරිස් සමලිංගිකත්වය නීතිගත කරව් යැයි රජයට බල කරමින් සිටී. මානව හිමිකමක් අයිතිවාසිකමක් රජය විසින් බැඳදමා සිරකො⁣ට තබා තිබෙනවා නොවේදැයි කෙනෙකුට ප්‍රශ්ණ කළ හැකිය. ලිංගික ආශාවක් විරුද්ධ ලිංගිකයෙකු කෙරෙහිම ඇතිවිය යුතුය යන්න සමාජ සදාචාරයයි ,සාරධර්මයයි සංස්කෘතියයි ඉතිං අප ඒවාට හිස නැමිය යුතුය එය කෙතෙක් දුරට සාධාරණදැයි ප්‍රශ්ණ කිරීමට මට සිතෙයි.

නෙත් අගින් නුරා කැන්
දෙතොල් සුකුමාර බස්
දසන් පා සිනාවන්
කරයි නාඹර ඇතුන් මත්
.
.
.
ලියන් හා සංවාස නැති
ලවන් ඉඳුරන් සඟවා ඇති
ඇතුන් පුසුඹට පෙමින් බැඳි
පිරිමි ළන්දු කොහියති
              (පිටුව 18)

කතකයා ඉහත කවියෙන් කතාබහට ලක්කරණු ලබන්නේ එවැනිම වෙනත් ලිංගික කොට්ඨාසයක් ගැනය. ව්‍යවහාර භාෂාවෙන් නපුංසකයන් ලෙස හදුන්වන මෙම පිරිස සහ ඔවුන්ගෙන් ලිංගික ආශාවන් සපුරාගෙන රහසේම සැඟව යන පිරිස් ගැන කතකයා මෙහිදී කතාබස් කරයි. අඳුර තුළ සිදුවූ දෑ අඳුර තුළම සඟවා යන්නට අපි උත්සහ දරන්නේ එවැනි රහස් දවාලට තටු නොලබන බැවිණි. ඇතැම් විට රාත්‍රිය වර්ණවත් කරන මෙවැන්නන් ආලෝකය තුළ සැඟව යයි. සමාජයෙන් සැගවෙයි.  ඔවුන්ගේ ජීවිත කතාවේ කටුක බව කතකයා සිය නිර්මාණයෙන් පෙන්වා දීමට යත්න දරා ඇත.

අප සමාජයේ පිලිකාවක් තරමට මුල්බැසගත් සුව කළ නොහැකි රෝගයකි ඇති නැති පරතරය. සියල්ලන්ටම සම අයිතීන් ලැබේනම් දුප්පත් පොහොසත් බෙදුම් රේඛාව මැකීයනු ඇතිද?  ස්වාමියා සේවකයා ලෙස නොව සියල්ලෝම ස්වාමියා විය හැකිද? ඒ එසේ වේවායි අප පතන නමුදු ඇති නැති පරතරය නැතිවන්නේ නොවේ. මන්ද අප සමාජය හැඩගැසී ඇත්තේම ඇති හැකි පරතරය ඉහළනංවා ගැනීමටය. ඇති හැකි තැනට ලංවන්නට නැතිබැරි පිරිස උත්සහ දරද්දී. ඇති හැකි අය අත්බැඳන් සිටින්නේද නැත. සැමදා එක ලෙසම පවතින මෙම සමාජ ප්‍රශ්ණය කතකයා මෙලෙස ප්‍රශ්ණ කරයි.

දුම් රොඩුවලා මැද
අහස උසට නැඟුණු මාලිගාවල
අහක දමන ඉස්තරම් කෑම
වැටෙන දිලිසෙන බකට්ටුව
පෙරළන් කන කළු බල්ලෙක්

ලස්සන පොඩි පෙට්ටියක
ඉතුරු ඉඳුල් බත්
පෙරේතකමට ගිලින
කැත කොලුවෙක්

අගේට පවුඩර් දා
පාසල් යන්නට
කාරයට නඟින
සුදු කෙල්ලක්

මිහිතලයේ අරුම දැක
හිරු හිනැහෙන
තවත් දවසක්

(පිටුව 25)

පංසලට යන බෞද්ධයා බොහෝවිට අවසානයේ නතර වන්නේ දේවාලයේ ය. දුක කියා දෙවියන්ට භාර කොට සියලු පැතුමන් යදින්නේද දෙවියන්ගෙන් ය. සියලු විස්වාස අවසන රදාපවතින්නේ දෙවියන් මතය. "අහෝ දෙවියනි ඔබ කොහිද" මෙය දන්නා අයෙක් වේ නම් ඒ දේවාලයේ කපුවා පමණකි. දෙවියන්ට කන්නලව් කරන්නට විවිධාකාර තිබේ. කන්නලව්වේ තරමට මොනරකොළ වඩම්මනු ලැබේ. සිල්ලර කාසිවලට දෙවියන්ට කන්නලව් කළ නොහැක. දොරකඩ සිට හැරී යා යුතුය.

දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි
පහන ළඟයි ආලෝකෙ දුරයි....

සියල්ල වාණිජ්‍යකරණය වන ලෝකයක දෙවියන්ටද මිලක් නියම කර තිබිය යුතුයැයි ඇතැම්විට දේව සභාව තීරණය කරන්නට ඇත. දෙවියන් සිටිත්නම් මෙවන් ස්ථානවල සිටීදැයි ප්‍රශ්ණ කිරීමට අපට වුව හැකි නමුදු නිලමැස්සො මැස්සො වහන පළතුරු වට්ටි වෙන්දේසියේ සිට අවසන දේව කන්නලව්ව දක්වා පුද පූජා සඳහා පඬුරු පුදන්නට බැතිමතුන්ට සිදුව තිබේ. එය කතකයා දකින්නේ මෙලෙසය.

පිරුවට සුදට හැද රතු සේලය දමන
කරවට බවුන් ලද මාලයේ ඇට ගණින
සරුවට සුවඳ දුම් අල්වා දස අතින
වරුවට කෝටියක් දෙවිවරු එහි වඩින

පේවී ආ යුතුයි දෙවොලට සැම ඔන්න
ගේවී බුලතෙ ඔතනා පඬුරුත මෙන්න
ඒවී සිතාගෙන සිත් සමනය වෙන්න
දේවී වරම් ගෙන මතුරයි දැන් ඔන්න

කන බොන විටදි කඩ පිළ ළඟ කල් මරන
යන එන අයගෙ වත දිවැසින් මෙන් බලන
වර ගුණ කපුගෙ පවසන අය හිද එතැන
පැමිණෙන දනන්ගේ මැසිවිලි දැන ඇඳින

තිරයට මුවා වී එන පණිවිඩ අසන
කලයට අත දමා මතුරා දෙහි රැගෙන
බලයට ආරූඩ වී ගිරයට දුක කපන
දෙවිදුට පවා ලංසුව දෙන තැන මෙතැන

(පිටුව 27)

කතකයා ඉහත කවියෙන් සමාජගත කරන්නේ දේවාරූඩයෙන් සාස්තර කියන දෙහිකපන සෙත්සාන්තිකරන යකැදුරන් කපුවන් දෙවියන් අතර සම්බන්ධයයි. දෙවියන් ආවේස වෙනු දැකීමට කැමැත්තෝ මෙන්ම සිනහ උපදන ඇත්තෝද නොමැත්තේ නොවේ... දෙවියන්ටද නයි අරින්නට හැකි මිනිස්සුන් අද සමාජයේ  සිටින බව මොනවට පැහැදිලි ය.

දෙවියන් නොමැතියැයි ඔවුන් කරන්නේ ⁣බොරුවකැයි එම මත මිත්‍යා මතයකැයි ඇදහුවද සිත සැනසීම උදෙසා හොරෙන් හෝ ඒ තැන්වල පිහිට පතන්නට අප පෙළඹෙන අවස්ථා එමටය.

කවි පංති 40කින් සමන්විත කරදහි කුරුල්ලා කෘතියෙහි කතාබහට කල්කළ හැකි නිර්මාණ කිහිපයක්ම අැතුලත් අතර මේ ඉන් දශමයක් පමණි.

සිය පළමු කෘතියෙන්ම විශිෂ්ඨ කවියෙක් නිර්මාණය වූවායැයි උදම් ඇනිය යුතු නොවේ. අශෝක සතු ප්‍රතිභාව සහ භාෂා දැණුම වඩා වර්ධනය කර ගනිමින් ඉදිරි නිර්මාණ මෙයටත් වඩා සාර්ථක කර ගැනීමට උත්සහ දැරිය යුතුයැයි පවසමින් සහ ඔහුගේ ඉදිරි නිර්මාණ දිවියට සුබ පතමින් මාගෙ කෙටි සටහන අවසන් කරමි.

රෝහිණී ජයන්ති ලියනගේ





Comments

Popular posts from this blog

රස්තියාදුකාරයා - ගිහාන් සචින්ත

කාව්‍යාලාප

විරාමයකට පසුව හමුවී විරාමයකට පසුව හමුවෙමු