ඒ ගඟම ගලන හැටි


ඒ ගඟම ගලන හැටි
උද්‍යාන් සම්පත් අමේෂන් ජයසේකර

කවිය ප්‍රකාශන මාධ්‍ය කොටගත් බොහෝ අය මුණ ගැහෙන මුහුණුපොත තුළින් හමුවන උද්‍යාන් සම්පත් අමේෂන් ජයසේකර බොහෝ අය අතර ජනප්‍රිය වන්නේ කට්ටා යන අනුවර්තිත නාමයෙනි. ⁣බොහෝවිට කෙටි කවිය තුළින් අදහස් ප්‍රකාශ කිරීම ඔහුගේ අනන්‍යතාව ලෙස මම දකිමි.  ගැලපෙන වචන යෙදිය හැකි හොඳම ආකාරය⁣ට යෙදීම කවියයැයි සඳහන් කළද සැමවිටම ඒ තුළ කවියක් ඇත්දැයි යන්න ගැටළුවකි. ඉතාම ප්‍රිය වචන එක පෙළට ලියාගෙන යාම කවියක් නොවන බව මගෙ අදහස වුවද එකිනෙකාගේ විඳීම එකිනෙකට වෙනස් බව නොරහසකි. මට කිවියක් නොවන පද තවත් අයෙකුට කවියක් වන්නේ එබැවිනි. තම ප්‍රකාශන මාධ්‍ය වූ කවිය තුළින් සමාජයට යමක් දීමට හා සමාජය විවරණය කිරීමට ඒ ගඟම ගලන හැටි කෘතියෙන් ඔහු උත්සහ දරන බව ඒ ගඟම ගලන හැටි රසවින්ඳනයෙන් ඔබට හැකිවනු ඇත.

උවැසි උවැසියන් රස්නෙට පෝයට සිල්ගද්දී
සිල් කැට සට සට ගාලා මළුවේ ඉහිරෙද්දි
තිදොර සංවර ද නිවන ලැබිලා වගෙ ඉද්දී
නච්ච ගීතටේ ට්‍රැක් පැන්නා හැට්ටෙ අස්සෙන් රින්ග් වෙද්දී

(මොඩර්න් සිල් : පිටුව 03)

සීලය වනාහි තුන්දොර සංවර කර ගැනීම වුවද ඉපැරණි සමාජය තුළද එවැන්නක් තිබුණාදැයි විමසා බැලිය යුතුය. පෝය හතරට සිල් ගන්න උපාසක ඇත්තන් එකළ අට සීලය දමාදන්වී එය රැකගැනීමට නොමද උත්සහයක යෙදෙනු අප දැක ඇත්තෙමු. බුද්ධ ධර්මය ශ්‍රවනය කරන උපාසක ඇත්තෝ කුස පිරෙන්නට දන්වලදා නිදි කිරා වැටෙන විට තවත් තැනෙක ඕපා දූපයක් කියවනු අසා සිටිය හැකි තරමට අට සීලය යනු කුමක්දැයි නොදන්නා වැසියා සුදු හැද උතුරු සළුවෙන් සිල් රකින බව දැක ගැනීමටනම් පෝදා පංසලට යා යුතුය. එවකට සිල් ගැනීම යනු ඉතා භක්තියෙන් සිදු කළ කටයුත්තක් වූ අතර  අද වන විට සිල් ගැනීම යන්නද පැෂනබල් වී ඇති අතර බණපද මොඩිෆයි වී ඇති බව කාටත් නොරහසකි.  උතුරු සළුවේ කුණු දූවිලි නොවැදී පරිස්සම් කර ගැනීමටක් මිස සිත කය වචනය තබා ජංගම දුරකතනයවත් සංවර කර තබා ගැනීමට නොහැකි සීලය කතකයා ඉතා උපහාසාත්මක ස්වරයෙන් ප්‍රකාශ කරන්නේ මෙම කවියේ "නච්ච ගීතයේ ට්‍රැක් පැන්නා හැට්ටෙ අස්සෙන් රින්ග් වෙද්දි " යන පද පේළිය යොදා ගනිමිනි. උද්‍යාන්ගේ බොහෝ කවි වල සියුම් උපහාස රසයක් පිරී තිබීම ඔහුටම ආවෙනික ලක්ෂණයක් යැයි සිතිය හැකිය.

ප්‍රේමය කියන්නෙ ම
කවියක
සැගවිලා පහර දෙන
බර අවියක්

පිටු අංක 9


ආදරය ප්‍රේමය විරහව ඕනෑම කවි පොතකින් හමුවන පොදු මාතෘකා කුලකයක් වුවද එහි ප්‍රකාශන සැම ⁣විටම වෙනස් රසයන්ගෙන් යුක්තය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ආකාරයකින් ඉදිරිපත් වන්නේ ඔහුගෙ අත්දැකීම් ප්‍රකාරවයැයි විටෙක තර්ක කළ හැකිය.  ආදරයත් ඒ තුළ ගැබ්ව ඇති වරහ වේදනාව තියුණු අවියක් බවත් ඔහු පවසන්නේ ඉතා සුමටව වචන හත අටක් පමණ යොදා ගනිමිනි.

මා වඩාත් සිත් ගත් කවි අතර එකොලොස්වන කවිය දෙස බැලුව හොත්

ඇසතු බෝ රැකක් දැක්කම
අසුනෙන් නැගිටින ශ්‍රද්ධාව
ගැබිණි මවක් නැංගම
අසුනෙ ඇලවෙන තෘෂ්ණාව.

පිටුව 13


ආගම දහමට බෝධියට පිළිමයට දක්වන බිය මුසු ගෞරවය මනුස්සයන් කෙරෙහි දැක්වීමට තරම් ධාර්මික නොවූ සමාජයක පස්ස පැත්තෙන් බුදුන් වැදීමත් ගැබිනි මවක් දුටු විට සිහින සතක් දකිමින් නිද්‍රාශීලි වීමත් කතකයා මොනවට පැහැදිලි කරන්නේ මෙම කවියෙනි. මිනිසුන් මිනිස්සුන් වෙනුවෙන් අවදිවන කාලය කවදා උදාවේවිදැයි සිහින දකිනවා මිස ඒ සමාජය උදාකරදීමට උත්සහ නොකරන්නේ මන්දැයි ඔබ ප්‍රශ්ණ කළ යුත්තේ ඔබගෙනි.

මෙම කාව්‍ය ග්‍රන්තයෙහි ඇති බොහෝ කවි විමංසාවට බදුන් කළ යුතු වුවද ඒ ගඟම ගලන හැටි ඔබේ වින්ඳනයට ඉඩ හසර විවර කරමින් තව තවත් සතත අභ්‍යාසයේ යෙදෙමින් කවි බස ප්‍රගුණ කරන්නයැයි ආරාධනා කරමින් ඔහුගේම ප්‍රේමනීය කවියකින් සමාප්තිය සටහන් කරමි.

මහා හයියෙන් වැහැපු දවස
දෙපස බැමි සුනු විසුනු කර ගඟ ගලන
ඉසියුම් නැති චමත්කාර හවසට
තමයි ආදරේ හුඟක් ලස්සන

හුස්ම හිරවෙන තද බදා ගැන්මක
ඉනාවක් මට දී හිත සිඹීමක
සැණෙකින් මතුවන කෙටි නිහඬතාවක
ඇස් කතා කරන එකයි ආදරය

රෝහිණී ජයන්ති ලියනගේ.

Comments

Popular posts from this blog

රස්තියාදුකාරයා - ගිහාන් සචින්ත

කාව්‍යාලාප

විරාමයකට පසුව හමුවී විරාමයකට පසුව හමුවෙමු